Friday, December 28, 2012

චිත්‍ර කතා පත්තරේ

අන්න ආච්චි අම්ම එනෝ... මගේ ඒ සද්දෙට ගෙදරට එකතුවෙලා හිටපු අයගෙන් කීප දෙනෙක් පාර පැත්තට දුවගෙන ගියා.. උන්දැ උස්සගෙන ආපු බර පන් මල්ල අස්සෙ ගහල තිබුනු පුංචි පත්තර යක් අරගත්තු එහෙම දුවගෙන ගිය එකෙක් ඒ පත්තරේ මැදපිටුව ඌ තියාගෙන ඉතුරු පිටු ටික අනික් අයට බෙදල දීල එහෙමම හිටගෙන කියවන්න පටන් ගත්තා.

මීට අවුරුදු බර ගානකට කලින් ඒ කියන්නේ 1979-1980 කාලෙදි හැම සතියකම දවස් තුනක් විතර හැන්දෑවට සිද්ද වන ක්‍රියාවක් තමයි මම ඒ කිව්වේ. ඒ කාලේ මට අවුරුදු 8 ක් විතර. මම ඉස්කොලේ ගියේ ආච්චි අම්මලගෙ ගෙදර ඉඳන්. ඒ අපෙ අම්මගෙ අම්ම.

 අපෙ අම්මා තමයි පවුලෙ දෙවෙනිය. අම්මට හිටියෙ එක අය්ය කෙනෙක්. මල්ලිල තුනයි. නංගිල පහයි. ඒ කියන්න මට හිටිය මාමල ම හතරකුයි  පුංච් අම්මල පහකුයි. ඔය පවුලට ඉස්සෙල්ලම එකතු උන පොඩි එකා මම හින්දත්, මම ඉපදෙනකොට එක මාම කෙනෙක්වත් පුංච් අම්ම කෙනක්වත් කසාද බැඳල හිටියේ නැති හින්දත් පොඩිකාලෙ ඉඳන් ම මාව බලාගන්න ලොකු සේනාවක් ඉඳල තියෙනවා. ඔය කට්ටියගේ ආදරේ කොච්චර වැඩිද කියනවානම් මම ඉස්කොලේ ගියේ තාත්තා ගෙ ගමේ ඉස්කෝලෙට නෙමේ. අම්මගෙ ගමේ ඉස්කෝලෙට.  පවුලේ සාමාජිකයෝ වැඩි නිසා ම විතරක් නොවෙයි, මුලු ගමත් එක්කම අපේ තිබුනු කිට්ටු සබඳතාවය නිසා නිතරම දන්න අඳුනන කිහිපදෙනෙක් ගෙදර. ඒක නිසා පුංචි මටත් සෙල්ලම් කරන්න කතාකරන්න ගොඩක් අය හිටියා.

අම්මේ එහෙම කාලයක්.

ඔය කාලේ වෙනකොට අපේ එක මාම කෙනෙක් හන්දියේ කඩයක් පටන් අරගෙන තිබුනේ. අනික් මාමල දෙන්නත් කඩේ උදව්වට යනව. කඩේ තිබුනු හොඳම එක තමයි ඒ කාලෙම මාමා අරගෙන තිබුනු පත්තර ඒජන්සිය. ඒකාලේ අද තරම් පත්තර තිබුනෙ නැතත්, මට මතකයි දවස, රිවිරැස, ලංකාදීප වගේ පත්තර තිබුනා. ඒටත් වඩා අපේ සිත් ගත්තු පත්තරේ තමයි සිත්තර පත්තරේ.

මාමලට දවල්ට කන්න කෑමත් අරගෙන කඩේට යන ආච්චි අම්ම හවස ආපහු එනකොට නොවැරදීම අරන් එන ජාති දෙකක් තිබුන. එකක් තමයි මට කන්න ගුනසිරි බුල්ටො එකක් හරි සීනිබෝලයක් හරි. එදා දවස අඟහරුවාදාවක් නම් සිත්තර පත්තරේ  බදාදාට නම් මට බලන්න සූකිරි පත්තරේ කොහොමහරි මොකක් හරි පත්තරයක් කඩෙන් අරන් එනවා බලල ආපහු දෙන්න බලාගෙන. ඔය සිත්තර පත්තරේ  අපෙ ගෙදර අය අතරෙයි ගමේ අය අතරෙයි පුදුම ජනප්‍රියයි. අඟහරුවාද හවසට ගෙදරට 25 ක් විතර එකතු වෙනව. පත්තරේ බලන්න. දිග ඇදීගෙන, ගස් මුල් උඩට වෙලා, පඩිය උඩ ඉඳගෙන, පොරකකා පත්තරේ බලනව. මමත් ඉතින් බුල්ටො එක හප හපා පත්තර බලන අයට එබීගෙන ඉන්නව.

සිත්තර පත්තරේ තමයි මගෙ ඇස ගැටුනු ප්‍රථම චිත්‍ර කතා පත්තරේ. ඒකෙන් තමයි මම කියවන්න ඉගෙන ගත්තේ. කොටින්ම හෝඩියෙ පොත කියවන්න කලින් මම සිත්තර පත්තරේ බලල තියෙනව. අකුරු ගැට ගහගහ කියවල තියෙනව. ඒ කාලෙ අද වගෙ ටැලිවිසොන් තිබුනේ නැහැ.  චිත්‍ර කතා පත්තර ඉතා ජනප්‍රිය විනෝදාස්වාදන මාර්ගයක් ඒ කාලේ. මට මතකයි මෑත කාලේ ටෙලියකට නැගුනු ඉතින් ඊට පස්සෙ කියන චිත්‍ර කතාව තිබුනෙ සිත්තර පත්තරේ. ඒක මුලින් ඇන්දෙ සරත් මධු කියල කෙනෙක්. ඊට පස්සෙ ගුනපාල ජයලත් කියල කෙනෙක් . අන්තිමට ඒක ඇන්දෙ සුමතිපාල ජෝතිපාල දෙන්න. තවත් ජනප්‍රිය කතාවක් තමයි යුනිකෝ. ඇස් දෙක වහගෙන ඉන්න සද්දන්ත ශරීරයක් තියෙන කෙනෙක් ගැන කතාවක්. මගෙත් ඒකාලෙ වීරය යුනිකො තමයි. තව තිබුන ටෝගා කියල එකක්. ටාසන් වගෙ කෙනෙක් කොටි හමක් ඇඳලා වැල්වල එල්ලිල යන කැලේක ජීවත් වෙන කෙනෙක් ගැන කතාවක්.

ඒ කාලේ කුණුහරුපෙට බර කතා තිබුනේ නැහැ. ගොඩක් වෙලාවට ඉංග්‍රිසි නවකතාවල සිංහලෙන් හදපු චිත්‍ර කතා තිබුනා. මට මතකයි ස්පාටකස් කියල කතවක් තිබුනා  රෆීක් ඩීන් කියල කෙනෙක් ඇඳපු.  ඒකෙ භාෂා ශෛලිය හරිම ලස්සනයි. කැමිලස්ගෙ ගජමෑන්, සිරිබිරිස්, දොන් සේතන්, වගේ විකට කාටූන් තමයි හිනා සාගරේ. පොඩි එකා උනත් මට කිසිම තහනමක් තිබුනෙ නැහැ චිත්‍රකතා බලන්න. ඒකනිසාද මන්දා පන්තියේ හැම ලමයෙකුටම වඩා මම ඒකාලේ දක්ෂයි. චිත්‍ර කතා වලට මුලින්ම වැඩිහිටියන්ට බර කතාවක් ඇන්දේ සුමතිපාල ජෝතිපාල . කතාවෙ නම සුද්දි. සුද්දි යකා මහත්තය අතින් රේප් වෙන සීන් එකක් තියෙනව. සුද්දිගෙ අම්ම මලාට පස්සෙ සුද්දිගෙ තාත්ත තව ගෑනියක් ගේනව. ඒගෑනිගෙ නම සෝමා. සෝමා නරක ගෑනියක් .. කොහොම උනත් ඔය කතාවත් ඉතාමත්ම ජනප්‍රිය උනා. මට මතක හැටියට සිත්තර පත්තරේ පල කලේ මල්ටිපැක්ස් ලංකා කියල සමාගමකින්. ඒ කාලේ රේඩියෝ වැඩසටහනක් ගියා සිත්තර ගීත දහරා කියල . ඒකට වික්ටර් රත්නායක කියපු සිංදුවක් අදටත් ජනප්‍රියයි. " ඉතින් ඊට පස්සේ...

එක පාරටම හෙන ගැහුවා වගේ පත්තරේ තිබුනු කතාටික එක පාරටම ඉවර උනා.එදා අපේ ගෙදරට රැස්වෙලා උන්න කීප දෙනෙක් ඇඬුවා. මොකක්ද මේ පාත්වෙච්චි හෙනේ කියල. ඊලඟ සතියේ පත්තරේ නැහැ. හැමෝටම මාර දුකයි. අදවගේ කාලෙක නම් කෝල් කරල වත් අහන්න තිබුන මොකක්ද උනේ කියල. මට මතකයි එහා ගෙදර හිටපු සුනිල් මාම පස් පඩංගුවෙ බනිනවා කතාව හරියට ඉවර උනේ නැහැ කියල. ටික දවසක් ගත උනා. ඔන්න ආච්චි අම්ම ආයෙත් සිත්තර පත්තරයක් ගෙදරට ගෙනාවා. ආරන්චියට ගමේ හැමෝම ගෙදරට ආවා. නොදකින්.. පරණ කතා එකක්වත් නැහැ. පොඩි උන් ටිකක ඇන්දා වගේ මෙලෝ රහක් නැති කතා ටිකක් තියෙනවා... හැබැයි සුමතිපාල ජෝතිපාලගේ සුද්දි කතාව එහෙමම තිබුනා.

සිත්තර පත්තරේත් එක්ක තව චිත්‍ර කතා පත්තරයක් දෙකක් තිබුනා. එකක් දසුන.. අනික සුහද. 

කොහොම හරි සිත්තර පත්තරේ ජනප්‍රියත්වය බැහැලා ගියා . එක පාරටම අලුත් පත්තරයක් ආව. ඒකෙ නම සත්සිරි. සිත්තර පත්තරේ හිටපු අය අලුතින් එකක් පටන් අරගෙන.. බලාගෙන ඉන්දැද්දි ඒ පත්තරේ නැගලා ගියා.. ගජමෑනුත් ඒකට ආවා. ඒකෙ තිබුන ඉන්ස්පෙක්ටර් ශ්‍රිනාත් මාරම ජනප්‍රිය උනා. කාලෙකින් ඒ පත්තරේටත් අර හෙනේම ගැහුවා. ඒකත් වඳ බැස්සා. ඊට පස්සේ ආව රසික පත්තරේ. කුමුදු කියල කෙනෙක් ඇඳපු චිත්‍ර හරිම ජනප්‍රිය උනා. උගෙ ශෛලියට ඇඳපු චිත්‍ර තාමත් සැලූන් වල තියෙනවා.

සිත්තර පත්තරෙන් මම කියවීම පටන් ගත්තට ලංකාවෙ මුල්ම චිත්‍ර කතා පත්තරේ ඒක නෙමෙයි. ඒක දැනගත්තේ   තුන්වන පන්තියෙන් පස්සේ මාව අපේ තාත්තලගෙ ගමේ ඉස්කෝලෙ යන්න පටන් ගත්තට පස්සෙ. දවසක් තාත්තා මොනවහරි එකක් හොයන්න අටුවෙ තිබුනු පරණ ලී පෙට්ටියක් බිමට බෑවා. අම්මට හුඩු.ඒක පිරිල තිබුනේ සතුට පත්තර වලින්. ඉස්සර කාලේ තාත්තා සතුට පත්තරේ පටන් ගත්තු කාලේ මුල්ම පත්තරේ ඉඳන් එකතු කරපු පත්තර 200ක් විතර.

සතුට පත්තරේ තමයි ලංකාවෙ මුල්ම චිත්‍ර කතා පත්තරේ. ලේක් හවුස් එකෙන් තමයි ගහල තියෙන්නේ. ඒක ලොකු ටැබ්ලොයිඩ් සයිස් පත්තරයක්. පිටු 16 ක කතා 20ක් විතර තිබුනා. මැද පිටුවෙ මං ආසම කෙනා ගජමෑන් හිටියා. විස්වාස කරන්නත් බැහැ. කැමිලස් ගජමෑන් ඇඳල තියෙන්නෙ ඉස්සෙල්ලම සතුට පත්තරේට. පත්තර 200 මම කීප සැරයක් බැලුවා. අහල පහල අයත් බැලුවා. අන්තිමට එව්ව වේයන්ටයි, වැස්සටයි දිරල ගියා. සතුට පත්තරේ තමයි සුසීමා කියන කතාව ගියේ. බට්ටි චිත්‍ර කතාව තිබුනේ සතුට පත්තරේ.පස්සේ ටෙලියකුත් හැදුවා. බන්දුල හරිස්චන්ද්‍ර, අනුර ශ්‍රීනාත් වගේ අය චිත්‍ර කතා ඇන්දා මට මතකයි.

කාලෙකන් සතුට පත්තරේ ටත් අර හෙනේම ගහල වඳ බැස්ස. ඊට පස්සේ ලේක් හවුස් එක පටන් ගත්තා මධුර කියල පත්තරයක්. ඒක නම් එච්චර ජනප්‍රිය උනේ නැහැ. ලේක් හවුස් එක චිත්‍රකතා පත්තර ගහනකොට 1980 කාලෙ පටන් ගත්තු උපාලි නිව්ස්පේපර් එකත් එව්වගෙ පත්තරයක් පටන් ගත්තා. නම චිත්‍රමිත්‍ර.මෙලෝකෙ රහක් නැහැ.චිත්‍රත් අන්තිමයි.

සතුට පත්තරේ ලේක් හවුස් එකන් අත හැරියට පස්සෙ ඒක ගත්ත විජය නිව්ස්පෙපර් එකට. ඒකත් ටික කාලෙකින් නැවැත්තුවා. දයා රාජපක්ෂ චිත්‍රකතා ඇන්දේ ඒ පත්තරේට.

කොහොමින් කොහොමින් හරි ලංකාවට රූපවාහිනිය ආව. චිත්‍රකතා වලට තිබුණු ඉල්ලුම නැතිවෙලා ගියා. ඒකට වෙනම මාකට් එකක් හැදුනා හමුදාවෙ. බලන අයගේ කැමැත්ත මත කතා තේමාත් වෙනස් උනා. කුණුහරුපෙටම බර උනා. ගෙදරකට වැද්දගන්නේ නැති.. පීචං ම පීචං පත්තරයක් විදිහට චිත්‍ර කතාව පත් උනා.

දැන්නම් චිත්‍ර කතා පත්තර තියෙනවද දන්නෙත් නැහැ. බන්දුල හරිස්චන්ද්‍ර දිවයින ඉරිදා පත්තරේටයි , සුමතිපාල ජෝතිපාල දිනපතා දිවයින පත්තරේටයි, දයා රාජපක්ෂ ලංකාදීපෙටයි අඳිනවා. අනුර ශ්‍රීනාත් අද පත්තරේ. ඉස්සර සරත් මධු කියන්නේ කෙල්ලන්ගේ සිහින කුමාරයා. කැලුම් කියල ඇන්දේ සරත් මධුගෙම මුහුණ. අද මොනව කරනවද දන්නේ නැහැ.

චිත්‍ර කතා ඇඳපු ලෝකෙ සමහර පුද්ගලයින් තාමත් ඉතාමත්ම ජනප්‍රියයි. ටින් ටින් කාටූන් කතාමාලව ඇඳපු හෙර්ගේ, ඇස්ටෙරික්ස් ඇඳපු රෙනේ මැරිලත් තාම හම්බ කරනවා. 

ප. ලි. චිත්‍ර කතා ගොඩක් තියෙන මේ බ්ලොග් එකට ගිහින් බලන්න..

https://slcomics.wordpress.com/

Wednesday, December 26, 2012

පිනට ගමන්




මම ඔෆිස් යන්නෙ ට්‍රේන් එකේ. ගෙදර ඉඳන් ස්ටේෂන් එකට කිලෝ මීටර් 5 ක් විතර තියෙන නිසා මම ඒටික එන්නේ බයික් එකේ. ස්ටේෂන් එක ලඟ තියෙන ගෙදරක බයික් එක දානවා. මාසෙකට රුපියල් තුන්සීයයි.ඒ ගාන දීලා එතැන බයික් එක දාන එක සියට දෙසීයක් වාසියි මොකද අර දුර  බස් එකේ එන්න ගියානම් කන්න වෙන කට්ට ගැන හිතනකොට. ඔය ටික දුර එන්න මට වැඩිම උනොත් විනාඩි දහයක් යයි.. බස් එකක ආවනම් අඩුගානේ පැය බාගයක් වත් යනවා. අපේ පැත්තේ ඉඳන් කොලඹට, ගම්පහට වැඩට යන අය ගොඩ දෙනෙක් ස්ටේෂන් එකට එන්නෙ  ඔය ක්‍රමයට තමයි. මම බයික් එකෙන් ඔය විදිහට ස්ටේෂන් එකට යන්න පටන් ගත්තු මුල් දවස් වල ඉඳලම අතරමගදි කවුරුහරි ඒ පැත්තට යන කෙනෙක් අත ඇල්ලුවොත් දාගෙන යන්න පුරුදු වෙලා හිටියා. ගොඩක් වෙලාවට බස් එක වැරදුනු ඉස්කෝලෙ යන ලමයි මම ඩ්‍රොප් කරනවා. ටික දවසක් ඔය විදිහට ගතවුනා. දවසක් ඔෆිස් යන මනුස්සයෙක් බයික් එකට  අත ඇල්ලුවා. මමත් වෙනදා පුරුදු විදිහටම මිනිහවත් ස්ටේෂන් එකට ගෙනත් දැම්මා. පහුවදත් අර වෙලාවටම බුවා පාරේ. එදත් මම මිනිහව දාගෙන ආවා. ඔය විදිහට දවසක් දෙකක් ගතවුනා.. මට දැනුනා මිනිහා මම යන එන වෙලාව බලල තමයි පාරට එන්නේ කියලා..මම යන වෙලාවටම ඔතැනින් බස් එක යනවා. මිනිහ නගින්නේ නෑ. මම එනකම් බලන් ඉන්නවා.. මමත් ඉතින් ඌවත් දාගෙන එනවා.

දවසක් පෝය දවසක අපි කට්ටිය පන්සල් ගියා. උගේ ගෙවල් තියෙන්නේ පන්සල පාරේ. මම දැක්ක උගේ ගෙදර කාර් එකක් පාර්ක් කරල තියෙනව. ඌ බයික් එකක් පිහ දදා ඉන්නවා. මට තේරුනා වැඩේ. මූ උගේ වාහන පරිස්සම් කරගෙන අනුන්ගේ පානෙන් එලිය බලනවා.


පහුවදත් මූ අතදැම්ම. බයික් එකෙ යන ගමන් මම ඇහුවා ඇයි අය්ය බයික් එකක් ගෙදර තියාගෙන  එකේ යන්නේ නැත්තේ කියලා. බුවා කියපි.. අපරාදෙනෙ මල්ලි රුපියල් 300 ක් දීල බයික් එක දාන්න ඕනෙ නැනේ. අනික පැට්‍රල් ගහන්නත් කීයක් යනවද. ඔය වගේ තැන්වල බයික් එක දාපුවාම ඒක සවුත්තුවෙනව ඉතින් මල්ලි එක්ක බයික් එකේ ගියානම් ඒකත් ඉතුරුයි නෙ කියලා... මට මූව එතනම බස්සල යන්න හිතුනා. ඒත් මම එහම කලේ නැහැ. පහුවදත් මූ මම එනකොට විරිත්තලා අත දැම්ම. මම තව ටිකක් රේස් කරල අහක බලාගෙන ගියා. ඊට පස්සේ අත දැම්මේ නැහැ. මම එනකොට අහක බලා ගන්නවා. කවුරු හරි මනුස්සයෙකුගේ වාහනයකට හරි බයික් එකකට හරි නැගලා මූ තාමත් අර විදිහටම යනවා. හවසටත් ඔය විදිහමයි. ඔය පැත්තෙන් යන ගොඩක් අය ඔය සීන් එක දැන් දන්නවා. අඳුනනම කෙනෙක් හැර වෙන කිසි කෙනෙක් ඌව දාගෙන යන්නේ නැහැ. ඒත් ඌ තාමත් අනුන්ගේ වාහනවලම තමයි ගමන.  දවසක් මම රෑ වෙලා ගෙදර එනකොට මූ පට්ට කරුවලේ පයින් ම අදිනව.  මට ඌ දාගෙන එන්න කිසිම අනුකම්පාවක් හිතුනේ නැහැ. වෙන කෙනක් නම් මම කවදාවත් මග දාල එන්නේ නැහැ.

උගේ ගෙදර ඉඳන් පුෂ් බයිසිකලේක ආවත් ඔය ගමනට විනාඩි 15 කට වඩා යන්නේ නැහැ. අනික ඌ නැති බැරි මිනිහෙකුත් නෙමෙයි. තමන්ගේ තුට්ටු දෙක රැක ගන්න ඌ කරන විගඩම දැක්කහම දෙකොනින් හිනා යනවා. අපි කෙනෙකුට ඔය වගේ උදව්වක් කරන්නේ තරාතිරම බලල නෙමෙයි. ඒක සිංහල අපේ හැටි. ඒක උගේ වාසියට හදාගෙන තියෙන හැටි ?