Thursday, August 6, 2015

කාලෙකට කලින් ආ ගිය තැන් - බේක්ලන්ඩ් , මහජන කැෆේ

ගම්පහ මිනුවන් ගොඩ පාරේ ගාඩර් එකට පොඩ්ඩක් එහායින් තිබුන බේක්ලන්ඩ් හොටෙල් එක තමයි 90 දශකයෙ මුල හරියෙ ක්ලාස් ගිය අපේ තාවකාලික නැවතුම් පොල. බේක්ලන්ඩ් එක හෝටලයක් සහ බේකරියක්. දවසම ක්ලාස් තිබුනු දවසට ගෙදරින් ඔතල දෙන බත් එක තව කීප දෙනෙක් එක්ක දිග හැරගෙන කන්න තිබුනු හොඳම සහ පහසුම තැන තමයි ඔතැන. කෑම ගෙනාපු නැති දවසටත් බොහොම රසට අඩු වියදමකින් වේලක් පිරිමහගන්න තිබුනු තැනක්. හෝටලයෙ නිත්‍ය ටී මේකර් බඩ තඩි ගුණේ අය්යා. කහට පාට වැටුනු අත්කොට මේස් බනියමකුයි සරමකුයි ඇඳල කඩිය වගේ එහෙට මෙහෙට දුව දුව.. තේ හදන, කෑම බෙදන වැඩ ඔක්කොම කරන්නේ එයා.. ගුණෙ අය්යා අපිට බොහොම හිතවත්. අපි ගෙදරින් ගේන කෑම එක බේකරි මේසෙ උඩ දිග ඇරගෙන කනකොට හිටපු ගමන් ගුනේ අය්ය දුවගෙන ඇවිත් පරිප්පු පීරිසියක් හරි .. මාලු හොදි එකක් හරි දීල යනවා.. බේක්ලන්ඩ් එකෙ තරම් රස පාන් මම වෙන කොහෙන්වත් කාල නැහැ. හෝටලේ මුදලාලිත් හරිම ගුණ යහපත් මනුස්සයා.

මෙතැන අපි අතරේ මෙච්චර ජනප්‍රිය වෙන්න හේතුවක් තිබුන.. අපි සෙට් එකටම ක්ලාස් තිබුනෙ විද්‍යාරවින්දයෙ. උදේ වරුවෙ ලොජික් ක්ලාස් එක 10.00 ට ඉවරයි.. ඉකොන් ක්ලාස් එක 1 . පැය තුනක් නිකරුනේ ගතකරන්න ගම්පහ ටවුන් එකේ වෙන තැනක් තිබුනෙ නැහැ. හැම සතියකම ෆිල්ම් බලන්න ඕනේ කමක් තිබුනේ නැහැ. අපෙ සෙට් එකේ කාටවත් කෙල්ලක් සෙට් වෙලා හිටියෙත් නැහැ. පැය තුනක් ගතකරන්න අපිට තිබුනු හොඳම තැන බේක්ලන්ඩ් හෝටලයේ පිටිපස්සෙ වත්ත. දෙපැත්තකින් තාප්පය.. අනික් පැත්ත වෙල් යායටයි ගම්පහ ඇලටයි ඕපන්. ඇල අයින තමයි අපේ නැවතුම් පොල. මරු තැන. හැම දෙයක් ම එතැන. නාන්න ටොයි ලට් යන්න .. සිගරට් බොන්න ( මල් නම් තිබුනේ නැත )

එක දවසක් අපි ලොජික් ක්ලාස් එක ඉවර වෙලා ඔය පැත්තට ගියා. ගුණේ අය්ය අම්ම මෝ නැතුව කාටදෝ බණිනවා. බලපුවාම කව්ද එකෙක් බේකරියෙ මේසෙ උඩ උණුවන් ම බාල තිබුනු ලොකු තැටි කේක් එකක හරිමැද්දෙන් ම හාරගෙන කාලා .. කිලෝ එකක් විතර.. කවුරු කලාද කියල දැකල නැහැ... අපේ සෙට් එකේ එකෙක් නම් නෙමෙයි කියල ෂුවර්.. අපෙ මූණු දැකල ගුණෙ අය්ය අපිට ඇතුලට යන්න ඉඩ දුන්නා... උඹල නම් මෙව්වගේ බලු වැඩ කරන්නෙ නැහැ කියල මම දන්නව කියල මිනිහ කිව්වා..


ඔය කාලේ ගම්පහ තිබුනේ තෝසේ කඩ දෙකයි. එකක් ගම්පහ ලොජ්. අනික මහජන කැෆේ. බඩ පිරෙන්න කන්න අතේ සල්ලි නැති උනාම යන්නේ ඔතෙන්ට. වේටර් කොලුව දන්න එකෙක් අපේ සෙට් එකෙ හිටියා. ඌට ඇහැක් ගහල මේසෙට ඉඳ ගත්තම ඌ දන්නව සිද්දිය. හතර පස් දෙනෙක් එකතුවෙල හොඳට කනව.. ඌට රුපියල් 10-15 ක් මේසෙ ඉටි කොලේ යටින් තියනව.. කාපු එවුන් තුන් දෙනෙක් කඩෙ පිටිපස්සට යනවා. එකෙක් කැෂියර් ගාවට යනව.. වේටර් කොලුව කෑ ගහනවා.. ඔය මහත්තයා තොසෙ දෙකයි.. වඩේ එකයි ප්ලේන්ටී එකායි කියනව

රුපියල් හතයි මහත්තයා.. 

හික්.... හික්.. හී........


කරුමේ කියන්නේ හැම මාසෙකටම දවස් දෙක තුනක් මහජන කැෆේ වහල.. P H I සීල් තියල.


නිතරම ගම්පහ යැවුනත්.. අලුතින් හැදුනු පාරේ යනව මිසක් මිනුවන්ගොඩ පරණ පාරෙ යැවුනෙ නැහැ කාලෙකින්අවුරුද්දට  ඇඳුම් වගයක් ගන්න ගියා දවසක් ගම්පහ. හැම තැනම ඇවිදලා අන්තිමට ආව ඔය බේක්ලන්ඩ් හොටලය තිබුනු තැන තියෙන ඇඳුම් සාප්පුවට. කාර් එක පාක් එකට දානකොටම මොකක්දෝ හුරුපුරුදු ගතියක් ආව..

බලපුවාම ඒක තමයි අපි ඒකාල ගතකරපු තැන.. සම්පූර්ණයෙන් වෙනස් වෙලා. වෙනස් කරලා... අවුරුදු නම් කීයක් ද. 25 ක් . කාලය යන ඉක්මන..

No comments:

Post a Comment